පානදුර- රත්නපුර ප‍්‍රධාන මාර්ගයට ගලගෙදර මාර්ගය සම්බන්ධ වන මංසන්ධියේ, හොරණ නගරයේ බටහිර සීමාවේ මාර්ගය දෙපසම මෙම විහාරස්ථානය පිහිටා ඇත.
කළුතර දිස්ත‍්‍රික්කයත් රයිගම් කෝරළයත් සම්බන්ධ ඓතිහාසික සාධක බහුලම ස්ථානයක් වීම එසේ වැදගත් වීමට හේතුව ලෙස දැක්විය හැක. ජනශ‍්‍රැති හා ජනප‍්‍රවාද වලින් මෙන්ම පුරාවිද්‍යාත්මක සාධක අනුව මෙහි ඉතිහාසය අනුරාධපුර යුගය දක්වා දිවෙන බවට සාධක ඇත.
ජනප‍්‍රවාද වලට අනුව මෙම විහාරස්ථානය පිලිබඳ ඉතිහාසය අනුරාධපුර මුල් අවධිය කරා දිවයයි. ඒ අනුව දෙවන පෑතිස් රජ දවස දඹදිව ආන්ද්‍ර කුමරියන් දෙදෙනෙකු ලක්දිව සුන්දරත්වය පිලිබඳ සැලවී මෙහි පැමිනීමට සිය පිය රජුගෙන් අවසර ඉල්ලා ඇත. නමුත් රජු මෙයට අසතුටු වී ඔවුන් දෙදෙනා කුමාරවරුන් දෙදෙනෙකුට විවාහ කර දීමට කටයුතු සූදානම් කර තිබේ. බ‍්‍රහ්මචාරී දිවියකට ප‍්‍රිය කල කුමරියන් දෙදෙනා මෙහිදී රහසින්ම ලක්දිවට පාලාවිත් ඇත. අනුරාධපුරයට පැමිණි මොවුන් දෙවන පෑතිස් රජු හමුවී ජීවත් වීමට සුදුසු ජන ශූන්‍ය සාමකාමී ප‍්‍රදේශයක් පිළිබද විමසා තිබේ. ඉන් අනතුරුව ශ‍්‍රී මහා බෝධියෙන් පතිත වූ බීජානු දෙකක්, පාත‍්‍ර දෙකක දමාගෙන ඉදිරි ජීවිතය බ‍්‍රහ්මචාරීව ජීවත් වීමට කතිකා කරගෙන අනුරාධපුරයෙන් පැමිණ තිබේ. තම පාත‍්‍ර වල බෝධි බීජ මගින් අංකුර හටගත් විට එම ස්ථාන තම වාසස්ථාන ලෙස තෝරා ගැනීමටද ඔවුන් කතිකා කරගෙන තිබෙන බවද කියවෙි. ඒ අනුව බාල කුමරියගේ බෝධි අංකුරය හොරණට නුදුරු වැලිකල ප‍්‍රදේශයේදී හටගෙන තිබෙන බව පැවසෙන අතර, වැඩිමහලූ කුමරියගේ බෝධි අංකුරය හොරණදී හටගෙන තිබෙන බව පැවසේ. එම ස්ථානය වර්තමාන හොරණ විහාරස්ථාන භූමිය ලෙස සැලකෙත අතර, ආන්ද්‍ර කුමරිය හොරණ ඇල්ල කන්දේ පිහිටි වනහාමිගේ ලෙන නමින් අද හඳුන්වන ලෙන වාසස්ථානය ලෙස භාවිතා කර තිබෙන බවද ජනප‍්‍රවාද වල තවදුරටත් කියවේ.
පුරාවිද්‍යා සාධක අනුව බලන විට ද ඉහත ජනප‍්‍රවාදයට යම් ආලෝකයක් ලැබෙන බව පෙනේ. බෞද්ධාගමික වතාවත් තුළ ප‍්‍රතිමා වන්දනය ආරම්භ වීමට පෙර මුල් කාලයේ විවිධ සංකේත භාවිතා කර ඇත. වජ‍්‍රාසනය, සිරිපතුල,ස්ථූප, ධර්මචක‍්‍රය මෙවැනි සංකේත කිහිපයකි. හොරණ රජමහා විහාර භූමිය තුළ වජ‍්‍රාසනයක්, නැතහොත් ආසන ගලක් ඇත. මෙය පුලූකුනාව හා රජගල වැනි ස්ථාන වලින් හමුවී තිබෙන ආසන ගල් වලට සමාන නමුත් ඒවාට වඩා පැරණි ලක්ෂණ සහිත ආසන ගලක් ලෙස සැලකේ. මෙය වර්තමාන බෝධිය අසලම තිබී හමුවීම හේතුවෙන් මෙම ස්ථානයේ මුල්ම බෞද්ධ සමයට අයත් ආගමික ස්ථානයක් තිබෙන්නට ඇති බව අනුමාන කල හැක.
මීට අමතරව මෙම ස්ථානයෙන් තවත් පුරාවස්තු රාශියක් හමුවී තිබේ.ඒ අතර කැටයම් සහිත සඳකඩපහන් සතරකි. අනුරාධපුර, පොළොන්නරු සඳකඩපහන්වලට වඩා හැඩය හා භාවිත සංකේත මගින් මේවා වෙනස්ස්වරූපයක් ගනී. නුවර යුගයට අයත් ත‍්‍රිකෝණාකාර සඳකඩපහනටද වඩා වෙනස් වන මේවා ගම්පල සහ කෝට්ටේ යුගවලට අයත් සේ සැළකේ. මින් එක් සඳකඩපහනක් කොළඹ කෞතුකාගාරයේ පවතින අතර අනෙක් සඳකඩපහන් විහාර භූමියේම පවතී.ගම්පල හා කෝට්ටේ යුගවල සඳකඩපහන් හමුවන්නේ ඉතා සීමිත වශයෙන්වන අතර එම හේතුව නිසාම හොරණ රජමහා විහාරය ඉතා සුවිශේෂ විහාරස්ථානයක් බවට පත්වේ. එමෙන්ම ඉහත යුගවල දී මෙම විහාරස්ථානය ඉතා සමෘද්ධිමත්ව පැවති බවට මෙය කදිම සාධකයකි.
මෙම ස්ථානයේ ඇති තවත් විශේෂ පුරාවස්තු කිහිපයක් මෙහි විහාර මන්දිරය ආශි‍්‍රතව පවතී. වර්තමාන විහාර මන්දිරය ඉදිකොට තිබෙන්නේ පැරණි විහාරයේ ගල් ආසනය මතය. මෙම පාදම කළුගල් වලින් නිර්මාණය කර තිබෙන අතර කැටයම් සහ බෙරදම් වලින් සමන්විත වේ. මෙහි ගල් රාමු වල බහිරව රූප දැකගත හැකිය. නලා පිඹින්නන්, සක් පිඹින්නන්, කාලම් පිඹින්නන්, මේ රූප වලින් නිරූපණය කෙරේ. මෙම කැටයම පෙරහැරක ස්වරූපයක් පෙන්වන ආකාරයෙන් දක්වා ඇත. මේවාද ගම්පොල යුගයට අයත් නිර්මාණයන් සේ සැලකේ.
විහාර මන්දිරයෙහිම පවතින ගල් උලූවස්ස ද ඉහත යුගයටම අයත් එකක් සේ සැලකේ. මීට අමතරව තවත් ගල් කැටයම්, ගල් කනු හා පැරණි බුදු පිළිම කිහිපයක්ද මෙම විහාර භූමියෙන් හමුවී තිබේ. මෙම පුරාවිද්‍යා සාධක මගින් විහාරස්ථානය අනුරාධපුර යුගයේ සිට වර්ථමානය දක්වාම ඓතිහාසික වශයෙන් භාවිතා වී තිබෙන බව පැහැදිලිය.
සෙනරත් පරණවිතාන මහතා පවසන පරිදි කිත්සිරිමෙවන් කැළණි විහාර ලිපියේ අලකේෂ්වර පරම්පරා පුස්තකය ලිපියට අනුව 13, 14, 15, සියවස්වල පතිරාජ පිරිවෙන නමින් හඳුන්වා ඇත්තේ මෙම විහාරස්ථානයයි. ඒ අනුව සිදත් සඟරාව, මයුර සංදේශය ලියවී තිබෙන්නේ හොරණ රජමහා විහාර භූමිය තුළදීය.
14 වන සියවස වන විට රයිගම ප‍්‍රදේශය පලන මධ්‍යස්ථානය ලෙස භාවිතාකල අලගක්කෝනාර වරුන්ගේ බලවත් වීමක් දක්නට ලැබේ. මෙකල ආර්ය චක‍්‍රවර්තී නම් ආක‍්‍රමනිකයා ලංකාවට එල්ල කල ආක‍්‍රමණයෙන්රට ගලවාගෙන තිබෙන්නේ මෙවුන් විසිනි. නමුත් චීන ආක‍්‍රමනිකයෙකු අලකේෂ්වර පරාජයට පත්කොට සිරකරුවෙකු ලෙස චීනයට ගෙනගිය පසු රයිගම බලය අලගක්කෝ්ණාරවරුන්ගෙන් ගිලිහී ඇත. මින් අනතුරුව රාජ්‍යත්වයට පත් වූ ඪෂ වන පරාක‍්‍රමබාහු රජු කුඩාකල රයිගම සහ වීදාගම විහාරස්ථාන ආශිව මෙම ප‍්‍රදේශයේ හැදී වැඩුනද, රාජ්‍යත්වයට පත් වූ පසු කෝට්ටේ මුල් කරගෙන පාලන කටයුතු සඅදුකර ඇති අතර රයිගම
ප‍්‍රදේශය නොසලකාහැරතිබේ. මින් අනතුරුව විජයබා කෙල්ලයෙන් පසු රයිගම් බන්ඩාරගේ පාලනයට භාජනය වූ රයිගම හා හොරණ ඇතුලූ ප‍්‍රදේශ ක‍්‍රි.ව 1538 දී ඔහුගෙ අභාවයෙන් පසු සීතාවක රාජසිංහ රජු සහ පරංගීන්ගේ ක‍්‍රියා කලාප හේතුවෙන් පරිහාණියට පත් වී තිබේ.
මෙලෙස ගරාවැටී තිබූ හොරණ රජමහා විහාරය නැවත ගොඩනංවා තිබෙන්නේ බි‍්‍රතාන්‍ය පාලන සමය තුලය.වර්තමාන විහාර භූමියේ එකල පැවතියේ තානායමක් බව කියවේ. මෙකල ඇල්ලකන්ද පාමුල කුටියක් තනාගෙන වාසය කල දළුපිටියේ අත්ථදස්සී හිමියන් මෙම භූමියට පැමින මෙහි තිබෙන නටඹුන් පිරික්සා බලා,මෙම ස්ථානය ප‍්‍රතිසංස්කරණය කලයුතු බව එකල ප‍්‍රදේශයේ බලවත් හිමිනමක් වූ වීදාගම සෝභිත හිමියන්ට දන්වා තිබේ.ඒ අනුව ක‍්‍රි.ව 1824 දී එවකට ලංකා ආණ්ඩුකාරවරයා වූ සර් එඞ්වඞ් බාන්ස්ට පෙත්සමක් ඉදිරිපත් කර ඇත. ක‍්‍රි.ව 1840 දී රජයෙන් මෙම ස්ථානයේ ඉඩම ලබාගෙන විහාරය නැවත ඉදිකර තිබෙන අතර ක‍්‍රි.ව 1870 දී නේත‍්‍ර ප‍්‍රතිෂ්ඨාපන පිංකම පවත්වා ඇත. මෙලෙස ගොඩනැගුනු හොරණ රජමහා විහාරය මගින් ක‍්‍රි.ව 1929 දී විද්‍යාරත්න පිරිවෙන ආරම්භකර ඇති අතර ප‍්‍රදේශයට පමනක් නොව සමස්ථ දිවයිනටම වර්ථමානයේදීත් මෙමගින් විශාල සේවයක් සැපයේ.
No comments:
Post a Comment